ලුණු

ලුණු පදම පැන්නොත් ඇඟ පුරාම ලෙඩ.



වෛද්‍ය උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන භාශාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රී ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නෙ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඉතින්, ලුණු අපේ ශරීරයට අවශ්‍ය බව ඇත්තයි. ඒ ප්‍රමාණය පැන්නොත් ලෙඩ ගොඩයි.

ලුණු තමා අපේ මස්පිඬු නියමිත ජවයකින් යුතුව හොඳින් ක්‍රියාත්මක කරවන්නේ. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරුව ක්‍රියාශීලිව සිදුවෙන්නේ. ලුණු අඩුවීම නිසා සිදුවන මස්පිඬු පෙරැළීමේ අපහසුතාව අපි කාටත් නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමා හොද්දට ලුණු වැඩි වුණොත්.

අධික ලුණු රුධිර පීඩනය ඉහළ දමන්න මූලික හේතූවක්. අධිරුධිර පීඩනය නිසා වකුගඩුවලට හානි සිදුවෙනවා. නහර පිපිරීම් සිදුවීමෙන් අංශභාග තත්ත්වය ඇති වෙනවා. ලුණු වැඩිනම් හදවත් රෝගත් වැඩියි. දියවැඩියාවටත් වැඩි ලුණු හේතුවක්. මේ සියල්ල අතර මහ ලෙඩක් වන තරබාරුවටත් ලුණු හේතුවක්. ඒ සමඟම ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වගේ එපා කරපු ලෙඩත් පෝලිමට එනවා.

ඉතින් තමන්ගේ සිරුරට ලබාගන්නා ලුණු ප්‍රමාණය වැඩි නම් අපේ සිරුර ඒ ගැන අපට දැනුම් දෙන විදිහක් තියෙනවා. පහත දැක්වෙන අනතුරැ ඇඟවීම් ගැන විමසිලිමත් වුණොත් හිතූමතේ ලුණු කාලා ලෙඩවීම වළක්වා ගන්න ඔබටත් හැකිවේවි. බලමු මොනාද මේ ලුණු වැඩි ලකුණු...



• තැනින් තැන සිරුරේ ඇතිවන අසාමාන්‍ය ඉදිමීම්.

හැමදාම ඇඟිල්ලේ දාපු මුද්ද දාගන්න බැරිව ඔබේ ඇඟිලි ඉදිමිලා වගේ ඔබට දැනෙනවාද? උදේ නැගිටිනකොට ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවද? බොහෝවිට මෙහෙම සිදුවෙන්නේ සිරැරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහළ යන විටයි.

• පමණට වඩා දැනෙන පිපාසය.

සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරැරේ ඇති ජලය ප්‍රමාණය පහළ බසිනවා. මේ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩිවන තරමට සිරුරේ ඇති ජලය වැයවෙන නිසා ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරැරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් ඔබේ සිරුරේ සෛල විජලනයට ලක්වෙනවා.

• මුත්‍රාවල වෙනස්කම් ඇතිවීම.

ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියාකරන්නට සිදුවෙනවා. මෙවිට ඔබේ වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදුවිය හැකියි. මීට අමතරව, සිරැරේ ලුණු වැඩිවීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීමත් සිදුවෙනවා.

• ඇටකටුවල වේදනා ඇතිවීම.

ලුණු භාවිතය නිසා ඇටකටුවල ශක්තිමත් බවට ගැටලු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත්වෙනවා. වකුගඩුවලට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩිවීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු  දුර්වල වීම, දත්වල ගැටලු ඇතිවිය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු විය හැක.

• කෙණ්ඩා පෙරළීම.

සිරැර තුළ නිවැරදි සෝඩියම් - පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, මෙම රසායනික මූලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා. ඔබ  ලුණු ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි තුළ වේදනාව ඇති වීම, පෙරළීම සිදුවිය හැකියි.

• දිගු කල් පවතින හිසරදය.

අධික ලුණු හෙවත් සෝඩියම් පරිභෝජනය ඔබගේ රැධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රුධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රුධිර නාලවල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.

• මතක ශක්තිය, තර්කානුකුල හැකියාව අඩුවීම.

ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රුධිරය සපයන ධමනිවලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී ඈලි මෑලි බවටත් හේතුවක් වෙනවා. මේ නිසා අද සිටම පමණ දැන හොද්දට ලුණු දමන්න.


Comments

Popular posts from this blog

පොල් පලා

කස කසා

වම්බටු